ඉරානය සහ ඊශ්‍රායල-ඇමෙරිකානු පාර්ශවයන් අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ, කිසියම් හෝ “දුෂ්ට ක්‍රියාවක” (Misadventure) නිරත වීමට උත්සාහ කළහොත් තම අසල්වැසි රටට එරෙහිව පෙර නොවූ විරූ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං (Rajnath Singh) මහතා අද (02) අනතුරු ඇඟවීය. ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ කේරළයේ පැවැති විශේෂ හමුදා උපහාර උළෙලක් (Sainik Samman Sammelan) අමතමිනි.
කිසිදු රටක නමක් සඳහන් නොකළ ද, ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉලක්කය පාකිස්තානය බව පැහැදිලි වේ. පසුගිය වසරේ මැයි මාසයේදී පහල්ගාම් (Pahalgam) ප්‍රදේශයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පාකිස්තානයට එරෙහිව “ඔපරේෂන් සින්දූර්” (Operation Sindoor) යුද මෙහෙයුම ක්‍රියාත්මක කළේය. වත්මන් ගෝලීය අර්බුදය හමුවේ අසල්වැසි රට කිසියම් අනිසි ක්‍රියාවකට පෙළඹුණහොත් ඉන්දියාවේ ප්‍රතිචාරය තීරණාත්මක වනු ඇති බව ඔහු අවධාරණය කළේය.
එසේම බටහිර ආසියාවේ පවතින ගැටුම් හේතුවෙන් ඉන්දියාව තුළ ඉන්ධන හිඟයක් ඇති වන බවට පැතිර යන කටකතා ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය. රට තුළ පෙට්‍රල්, ඩීසල් හෝ ගෑස් හිඟයක් නොමැති බවත්, ඕනෑම බලශක්ති අර්බුදයකට මුහුණ දීමට ඉන්දියාව සූදානම් බවත් ඔහු පැවසීය. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඉන්දීය නෞකාවලට ඉන්දීය නාවික හමුදාව විසින් පූර්ණ ආරක්ෂාව සපයන බව ද රාජ්නාත් සිං මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














