රුසියානු රජය විසින් එරට නිෂ්පාදනය කරන ගැසොලින් (Gasoline) ඉන්ධන අපනයනය කිරීම ලබන ජූලි මස අවසානය දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (02) තහනම් කර තිබේ. දේශීය වෙළඳපොළේ ඉන්ධන සැපයුම ස්ථාවරව පවත්වා ගැනීම සහ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව රුසියාව ප්‍රකාශ කරයි.
රුසියාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ඉල්ලුම ඉහළ යන කාලසීමාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, මොංගෝලියාව වැනි රුසියාව සමඟ අන්තර් රාජ්‍ය ගිවිසුම් පවතින රටවලට මෙම තහනම අදාළ නොවේ. පසුගිය වසරේදී යුක්රේනය විසින් රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතුවෙන් රුසියාවේ සමහර ප්‍රදේශවල ඉන්ධන හිඟයක් ද වාර්තා විය. රුසියාව යනු ලොව ප්‍රධාන පෙළේ ඉන්ධන අපනයනය කරන්නෙකු වන අතර, පසුගිය වසරේදී ඔවුන් දිනකට ගැසොලින් බැරල් 117,000ක් පමණ අපනයනය කර තිබේ.
අභ්‍යන්තර මිල පාලනය කිරීමට සහ හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට රුසියාව මීට පෙර ද අවස්ථා කිහිපයකදී ඩීසල් සහ ගැසොලින් අපනයනය සීමා කිරීමට පියවර ගෙන ඇත. වත්මන් ඉරාන-ඇමෙරිකානු යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති වෙළඳපොළ අස්ථාවර වී ඇති පසුබිමක රුසියාව ගත් මෙම තීරණය ජාත්‍යන්තර තෙල් මිල කෙරෙහි ද බලපෑම් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.













