නැගෙනහිර යුක්රේනයේ ලූහාන්ස්ක් කලාපයේ මෙතෙක් යුක්රේන පාලනය යටතේ පැවති අවසන් බිම් කොටස ද අත්පත් කර ගනිමින් මුළු කලාපයේම සම්පූර්ණ බලය තහවුරු කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (01) ප්‍රකාශ කළේය. 2022 වසරේ සිට රුසියානු හමුදාවන්ට අත්පත් කර ගැනීමට නොහැකිව තිබූ කුඩා භූමි ප්‍රමාණය ද මෙලෙස සිය ග්‍රහණයට ගත් බව මොස්කව් පාලනය අවධාරණය කරයි.
රුසියාව විසින් “ලූහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව” (Luhansk People’s Republic) ලෙස හඳුන්වන මෙම කලාපයෙන් 99%කට වඩා වැඩි ප්‍රමාණයක් මීට පෙර සිටම රුසියානු පාලනය යටතේ පැවතිණි. කෙසේ වෙතත්, රුසියාවේ මෙම ප්‍රකාශය ස්වාධීනව තහවුරු කිරීමට රොයිටර් පුවත් සේවයට මෙතෙක් හැකියාවක් ලැබී නැත. මේ අතර යුක්රේන හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය මාස හයක කාලය තුළ එම ප්‍රදේශයේ යුද පෙරමුණේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
දොනෙට්ස්ක් (Donetsk) කලාපයේ තමන් සතු නොවන ප්‍රදේශවලින් ද යුක්රේන හමුදා ඉවත් විය යුතු බවට රුසියාව යළිත් බලකර සිටියි. එමගින් යුද්ධයේ පවතින “උණුසුම් අවධිය” (Hot phase) අවසන් කළ හැකි බව ක්‍රෙම්ලිනය පවසන අතර, යුක්රේනය එම ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්නේ එය අතාර්කික බව පවසමිනි. දොන්බාස් (Donbas) නමින් හැඳින්වෙන කාර්මික කලාපය නිර්මාණය වන්නේ මෙම ලූහාන්ස්ක් සහ දොනෙට්ස්ක් යන කලාප දෙකේ එකතුවෙනි.














