යුක්රේනය සහ රුසියාව අතර සාම ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ඇනහිට ඇති පසුබිමක, රුසියාව ඊයේ (01) යුක්රේනයට සිය ගණනින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ලුට්ස්ක් (Lutsk) නගරයේ පිහිටි තැපැල් වර්ගීකරණ මධ්‍යස්ථානයක් ඇතුළු සිවිල් යටිතල පහසුකම් රැසකට හානි සිදුව ඇති බව යුක්රේන බලධාරීන් තහවුරු කරයි.
රුසියාව විසින් ඊයේ දිනට පමණක් ඩ්‍රෝන යානා 700කට ආසන්න සංඛ්‍යාවක් මුදා හැර ඇති අතර, එයින් 339ක් රාත්‍රී කාලයේදීත් 360කට අධික ප්‍රමාණයක් දහවල් කාලයේදීත් එල්ල කර තිබේ. මධ්‍යම චර්කාසි (Cherkasy) කලාපයේ සිව් දෙනෙකු සහ ඛර්සන් (Kherson) ප්‍රදේශයේ කාන්තාවක මෙම ප්‍රහාරවලින් මියගොස් ඇත. යුක්රේනය විසින් ඉදිරිපත් කළ පාස්කු සටන් විරාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම දරුණු ප්‍රහාර මාලාව එල්ල වීම සුවිශේෂී වේ.
මේ අතර, ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) මහතා ප්‍රකාශ කළේ සාම ක්‍රියාවලිය යළි පණගැන්වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සමඟ “සුබවාදී” සාකච්ඡාවක නිරත වූ බවයි. වසර පහක් පුරා පවතින මෙම යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් ඇනහිටීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඇමෙරිකාවේ අවධානය මේ වන විට ඉරාන යුද්ධය දෙසට යොමු වී තිබීම බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, අනාගත සාම ගිවිසුමක් සඳහා ආරක්ෂක සහතික ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම මෙහිදී එකඟ වී තිබේ.














