කලාපීය වශයෙන් පවතින අවිනිශ්චිත වාතාවරණය මධ්‍යයේ, ඩුබායි සෆාරි උද්‍යානයෙන් ඉතා සුබදායී පුවතක් වාර්තා වේ. ඒ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සුදු රිනෝ විශේෂයේ දෙවන පැටවා එම උද්‍යානයේදී සාර්ථකව උපත ලැබීමයි. ‘ඔලිව්’ (Olive) නමැති මව් රිනෝ දෙනට දාව උපන් මෙම නිරෝගී පිරිමි පැටවාට “සලාම්” (Salam) යනුවෙන් නම් තබා ඇති අතර, අරාබි භාෂාවෙන් එහි අර්ථය “සාමය” යන්නයි.
ජාත්‍යන්තර ස්වභාව ආරක්ෂණ සංගමය (IUCN) විසින් “තර්ජනයට ලක්වීමට ආසන්න” (Near Threatened) සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති සුදු රිනෝ සතුන්ගෙන් දැනට ලොව පුරා ඉතිරිව ඇත්තේ 15,700ක් වැනි සුළු සංඛ්‍යාවකි. සලාම් පැටවා උපතේදී කිලෝග්‍රෑම් 73.5ක බරකින් යුක්ත වූ අතර, දැනටමත් ඉතා නිරෝගීව උද්‍යාන නිලධාරීන්ගේ දැඩි අවධානය යටතේ හැදී වැඩෙමින් පවතී.
ඩුබායි සෆාරි උද්‍යානයේ වඳවීමේ තර්ජනයට ලක්වූ සතුන් බෝ කිරීමේ වැඩසටහන යටතේ උපත ලැබූ දෙවන සුදු රිනෝ පැටවා සලාම් වන අතර, මීට පෙර 2024 වසරේදී “ඔනික්ස්” (Onyx) නමැති පැටවා උපත ලැබීය. ජාත්‍යන්තර සත්ව සංරක්ෂණ ආයතන සමඟ එක්ව සිදුකරන මෙම වැඩසටහන මගින් ලොවෙන් වඳවී යන සත්ව විශේෂ ආරක්ෂා කර ගැනීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.














