ඊජිප්තුවේ කයිරෝ (Cairo) නුවර මහල් 12කින් යුත් නේවාසික ගොඩනැගිල්ලක බිම් මහලේ පිහිටි ඇඟලුම් කම්හලක සහ ගබඩාවක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය අද (02) වාර්තා කළේය. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, සහන සේවා කණ්ඩායම් විසින් සිදුකළ මෙහෙයුම්වලින් පසු මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
කයිරෝවේ සෙයිතුන් (Zeitoun) දිස්ත්‍රික්කයේ පිහිටි මෙම ගොඩනැගිල්ලේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 6ක් සහ ගිලන් රථ 10ක් යොදවා තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අදාළ ඇඟලුම් කම්හලේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගොඩනැගිල්ලේ ව්‍යුහයට සිදුව ඇති හානිය පරීක්ෂා කිරීම සඳහා ඉංජිනේරු කමිටුවක් ද පත් කර ඇති අතර, ආරක්ෂක පියවරක් ලෙස එම ප්‍රදේශයේ විදුලිය සහ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇත.
ඉරාන යුද්ධය හේතුවෙන් කලාපීය වශයෙන් පවතින දැඩි පීඩනය හමුවේ, ඊජිප්තුවේ මෙවැනි දරුණු අනතුරු වාර්තා වීම ජනතාවගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. කයිරෝ ආණ්ඩුකාර ඉබ්‍රාහිම් සේබර් (Ibrahim Saber) මහතා ප්‍රකාශ කළේ ගින්න දැන් සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, විමර්ශන කටයුතු කඩිනමින් සිදුකරන බවත්ය. මීට අමතරව ඊජිප්තුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් අට දෙනෙකු මියයෑමේ පුවතක් ද අද දිනයේ වාර්තා වී තිබුණි.













