ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව සිදුකළ පුද්ගලයන්ව ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නම් සහ එය වංචාවක් ලෙස නොදකින්නේ නම්, ජනාධිපතිවරයාද මෙම ගල් අඟුරු වංචාව පිටුපස සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී ඔහු මෙම වංචාවට සම්බන්ධ බව පැහැදිලි වන බවත්, අදාළ පුද්ගලයා මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටියදී චෝදනා ලැබූ අයෙකු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා. එලෙස චෝදනා ලැබූ අයෙකුව කැබිනට් ඇමතිවරයෙකු කර තවදුරටත් ආරක්ෂා කරන්නේ නම් එහි වගකීම විධායක ජනාධිපතිවරයා භාරගත යුතු බවයි ඔහු කියා සිටියේ.
වැඩිවන තෙල් මිලට සාපේක්ෂව වෛද්‍යවරුන් හෝ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ගේ දීමනා වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගෙන නැති බව පැවසූ මන්ත්‍රීවරයා, ගොයම් කැපෙන කාලයේදීම පිටරටින් හාල් ගෙන්වීමට පාරිභෝගික ඇමතිවරයා සූදානම් වීම නිසා දේශීය ගොවියා තවදුරටත් අසරණ වන බවද සඳහන් කළා. එසේම පවතින යුදමය වාතාවරණය හමුවේ පොහොර අර්බුදයක් ඇති වුවහොත් ආණ්ඩුව සතු විකල්ප සැලසුම් මොනවාද යන්න ඔහු ප්‍රශ්න කර සිටියා. පසුගිය කොවිඩ් වසංගතය පැවති සමයේ එවකට සිටි රජය පාඩු විඳගෙන හෝ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබා දෙමින් සහන සැලසූ බවත්, වත්මන් රජය බර සියල්ල ජනතාව පිට පටවමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.














