ඉරාන යුද්ධය සහ බාහිර හමුදා තර්ජන මධ්‍යයේ වුවද, එරට අභ්‍යන්තරයේ පසුගිය ජනවාරි මාසයේ පැවති රජයට විරුද්ධ විරෝධතාවලට සම්බන්ධ වූ පුද්ගලයෙකුට අද (02) මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව ඉරාන අධිකරණ පුවත් සේවයක් වන මිසාන් (Mizan) වාර්තා කළේය. ඉරාන ඉතිහාසයේ දරුණුතම මර්දනයක් එල්ල වූ මෙම විරෝධතාවලට අදාළව දඬුවම් ක්‍රියාත්මක කිරීමේ කොටසක් ලෙස මෙය හඳුන්වා දී ඇත.
මරණ දඬුවම නියම වූ අමීර්හොසේන් හතාමි (Amirhossein Hatami) නමැති පුද්ගලයාට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ ටෙහෙරාන් නුවර පිහිටි රහසිගත හමුදා මධ්‍යස්ථානයකට ඇතුළු වී එයට හානි කර ගිනි තැබීමයි. එමෙන්ම එහි තිබූ අවි ආයුධ පැහැර ගැනීමට උත්සාහ කළ බවට ද ඔහුට චෝදනා එල්ල විය. ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙම දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි (Amir Hatami) විසින් සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට සූදානම් වන ලෙස සිය හමුදාවන්ට අණ කර ඇති පසුබිමක, රජයට විරුද්ධ අභ්‍යන්තර කැරලි මැඩපැවැත්වීමට ඉරාන රජය මෙලෙස දැඩි පියවර ගනිමින් සිටී. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 35ක් සාකච්ඡා පවත්වන මොහොතක, ඉරානය තුළ මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මානුෂීය සංවිධානවල දැඩි අවධානයට ලක්වනු ඇත. පසුගිය මාසයේදී ඉරාන අධිකරණ නියෝජ්‍ය ප්‍රධානී හම්සේ කලීලි (Hamzeh Khalili) ප්‍රකාශ කළේ ජනවාරි විරෝධතාවලට අදාළ නඩු කටයුතු අවසන් කර ඇති බැවින් ඒවායේ දඬුවම් කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි.














