බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) අවසර ලබා දී තිබෙනවා.
විදේශීය බුද්ධි අංශයකින් ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව විසින් මෙම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන්ව මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම යාත්‍රාවේ තිබූ උරවල අසුරන ලද පැකට් 298 ක හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 323 ක් අඩංගු බවයි.
මෙම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 620 කට අධික වන බව බලධාරීන් පවසනවා. එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තොගය ගැඹුරු මුහුදේදී ඉරාන නෞකාවක සිට මෙම ධීවර යාත්‍රාව වෙත ලබා දී ඇති බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.














