මෙටා (Meta) සමාගමට අයත් වට්ස්ඇප් ආයතනය පවසන්නේ උතුරු ඉතාලියේ පිහිටි SIO සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ASIGINT විසින් ඉතා සූක්ෂ්ම ලෙස සකස් කළ ව්‍යාජ වට්ස්ඇප් මෘදුකාංගයක් හරහා පුද්ගලයින් 200කගේ පමණ දත්ත සොරකම් කර ඇති බවයි. මෙම ඔත්තු බැලීමේ මෙහෙයුම ඉලක්කගතව සිදු කර ඇති අතර, ව්යාජ යෙදුම ස්ථාපනය කරවා ගැනීම සඳහා පරිශීලකයින් රවටා ඇති බව අද (02) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
SIO සමාගම සිය වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කර ඇත්තේ තමන් නීතිය බලාත්මක කරන ආයතන, රජයේ සංවිධාන සහ පොලිස් බුද්ධි අංශ සමඟ හවුල්කාරීත්වයෙන් කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඔවුන් මෙතෙක් ඉදිරිපත් වී නොමැති අතර, ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳ විමසීම් පොලිසිය වෙත යොමු කර තිබේ.
ඉතාලිය තුළ මෙවැනි ඔත්තු බැලීමේ මෘදුකාංග (Spyware) සම්බන්ධයෙන් මතුවූ දෙවන ප්‍රධාන සිදුවීම මෙයයි. 2025 වසරේ මුල් භාගයේදී ඇමරිකානු ‘පැරගන්’ (Paragon) සමාගම සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසු ඉතාලිය එම සමාගම සමඟ සබඳතා නවතා දැමූ අතර, මෙම නව හෙළිදරව්වත් සමඟ ඉතාලි රජයෙන් කරුණු විමසීමට එරට මන්ත්‍රීවරුන් පියවර ගනිමින් සිටියි.












