බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලය හොබවන කැප්ටන් ඉබ්‍රාහිම් ට්‍රෝරේගේ නායකත්වයෙන් යුත් හමුදා පාලනය යටතේ, එරට හමුදාව සහ අල්-කයිඩා හිතවාදී ජිහාඩ් කණ්ඩායම් එක්ව 2023 ජනවාරි සිට 2025 අගෝස්තු දක්වා කාලය තුළ සිවිල් වැසියන් අවම වශයෙන් 1,837 දෙනෙකුවත් ඝාතනය කර ඇති බව අද (02) නිකුත් කළ වාර්තාවක දැක්වේ. මෙලෙස මියගිය පිරිස අතර කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් ද සිටින බව මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය පෙන්වා දෙයි.
මෙම වාර්තාවට අනුව, හමුදාව සහ ඔවුන්ට සහාය දෙන ස්වේච්ඡා කණ්ඩායම් (VDP) විසින් සිවිල් වැසියන් 1,255 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ජිහාඩ් සටන්කාමීන් (JNIM) පුද්ගලයින් 582 දෙනෙකුගේ මරණවලට වගකිව යුතුය. ඡායාරූප, වීඩියෝ, චන්ද්‍රිකා දර්ශන සහ පුද්ගලයන් 450කට අධික සංඛ්‍යාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡා ඇසුරින් මෙම තොරතුරු තහවුරු කරගෙන ඇති බව HRW ආයතනය පවසයි.
පවතින මෙම බරපතල තත්ත්වය හමුවේ, බුර්කිනා ෆාසෝ හමුදා නායක ඉබ්‍රාහිම් ට්‍රෝරේට එරෙහිව අපරාධ වගකීම් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් එරට සිදුවන යුධ අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳව මූලික විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් එම වාර්තාව මගින් දැඩිව අවධාරණය කර ඇත.














