ස්ත්‍රී දූෂණ සහ බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර හයක් තිස්සේ පොලිසිය මඟහරිමින් සැඟව සිටි දරුණු ගණයේ අපරාධකරුවෙකු ගිනිගත්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. හම්බන්තොට මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටි මෙම සැකකරු, ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිදු කළ රථවාහන පරීක්ෂාවකදී හෙරොයින් මිලිග්‍රෑම් 2250ක් ද සමඟ මෙලෙස කොටු වී ඇත. ඔහු කොළඹ සිට හැටන් බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු විසින් ව්‍යාජ නාවික හමුදා ලිපියක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කරමින් පොලිසිය නොමඟ යැවීමට දැඩි උත්සාහයක නිරත වී ඇත. එහෙත් නිලධාරීන්ට ඇති වූ සැකය මත සිදු කළ ඇඟිලි සලකුණු පරීක්ෂාවකදී ඔහුගේ සැබෑ අනන්‍යතාවය සහ කළු කට්ටඩිගේ චතුර සම්පත් නැමැති 30 හැවිරිදි සැකකරුගේ අපරාධ ඉතිහාසය හෙළි විය. මොහු දුම්මලසූරිය, අවිස්සාවේල්ල සහ අම්බලන්තොට ප්‍රදේශවල කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික අතවර කිරීම මෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහා පරිමාණ යතුරුපැදි සොරකම්වලට සම්බන්ධ, තංගල්ල මහාධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි අයෙකි.
විමර්ශනවලදී සැකකරු විසින් සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් ද සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර, ඔහු අධිකරණය මඟහරිමින් විවිධ ප්‍රදේශවල සැඟව සිට ඇති බව අනාවරණය වී තිබේ. හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත දින කිහිපයක් ප්‍රශ්න කිරීමෙන් පසු, සැකකරු පසුගිය 27 වන දින යළි අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන අප්‍රේල් මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.












