නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් බීඩි කොළ මෙරටට ගෙන ඒම හේතුවෙන් රජයට අහිමි වන විශාල බදු ආදායම වළක්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව බලධාරීන්ට උපදෙස් දී තිබේ. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
බීඩි කොළ ආනයනයේදී රජය බද්දක් අය කළද, ජාවාරම්කරුවන් හොර රහසේ බීඩි කොළ මෙරටට ගෙන ඒම නිසා නීත්‍යානුකූල කර්මාන්තකරුවන්ට මෙන්ම රජයේ ආදායමට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව මෙහිදී අනාවරණය විය. මෙම තත්ත්වය පාලනය කරමින් රජයට ලැබිය යුතු බදු ආදායම සුරක්ෂිත කර ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
මෙම විශේෂ රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් රණසිංහ, එරංග වීරරත්න ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පොලිසිය සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. ජාවාරම මැඩලීමට සහ දේශීය බීඩි කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවසන් තීරණවලට එළඹි බව වාර්තා වේ.













