ලෝක කතෝලික සභාවේ ප්‍රථම ඇමරිකානු නායකයා ලෙස පත්වූ 14 වන ලියෝ පාප්වහන්සේ, සිය ධුර කාලයේ මුල් මාස 10 තුළ සිය මව් රට වන ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලනය පිළිබඳ නිහඬව සිටියද, දැන් එම නිහඬතාවය බිඳ දමමින් ජනාධිපති ඩොල්න්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කිරීමට පටන් ගෙන තිබේ. පසුගිය අඟහරුවාදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පාප්වහන්සේ ප්‍රථම වරට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින්, වර්ධනය වෙමින් පවතින ඉරාන යුද්ධය වහාම අවසන් කරන ලෙස සෘජු ඉල්ලීමක් කළහ.
වතිකානුව පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ පාප්වහන්සේගේ මෙම ස්වරයේ වෙනස හරහා, ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති ඉලක්කයන්ට එරෙහිව ලෝක මට්ටමේ ප්‍රබල හඬක් නැගීමට උන්වහන්සේ සූදානම් වන බවයි. “Off-ramp” වැනි ඇමරිකානු ව්‍යවහාරික වචන භාවිතා කරමින් යුද්ධය නැවැත්වීමට මගක් සොයන ලෙස උන්වහන්සේ කළ ඉල්ලීම, ඇමරිකානු පරිපාලනයට සෘජුවම තේරුම් ගත හැකි වන පරිදි ඉතා සැලසුම් සහගතව කළ එකක් බව විචාරකයෝ පවසති.
තමන් ඇමරිකානු ජාතිකයෙකු වූ පමණින් “ට්‍රම්ප්වාදය” (Trumpism) හමුවේ වතිකානුව මෘදු පිළිවෙතක් අනුගමනය කරන බවට එල්ල විය හැකි චෝදනා මගහැරීමට පාප්වහන්සේ මෙලෙස ක්‍රියා කරන බව පෙනෙන්නට තිබේ. සාමය වෙනුවෙන් නිර්භීත නායකත්වයක් අපේක්ෂා කරන ලෝක ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිමින්, ලියෝ පාප්වහන්සේ ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ සිය ස්ථාවරය මේ වන විටත් තහවුරු කරමින් සිටිති.













