2021 වසරේදී චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අතුරුදහන් කර සිටි ධර්ගී (Dargye) නමැති 63 හැවිරිදි ටිබෙට් භික්ෂුවකට, රහසිගතව වසර හතක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දලයි ලාමා තුමන් වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වීම සහ තවත් භික්ෂූන් පිරිසකට ටිබෙටයෙන් පලා යාමට උදව් කිරීම යන චෝදනා මත උන්වහන්සේට මෙම දඬුවම පමුණුවා ඇති බව පැවසේ.
2021 අගෝස්තු මාසයේදී ලාසා නුවරදී අත්අඩංගුවට ගත් දා සිට ධර්ගී හිමියන් සිටින ස්ථානයක් පිළිබඳව කිසිදු නිල තොරතුරක් අනාවරණය වී නොතිබුණි. උන්වහන්සේ සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පිරිස මාස කිහිපයකින් නිදහස් කළද, ධර්ගී හිමියන් පිළිබඳව විමසූ ප්‍රදේශවාසීන්ට චීන බලධාරීන් පවසා ඇත්තේ උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඉක්මනින් නිදහස් කරන බවත්ය.
කෙසේ වෙතත්, එම බලධාරීන් ලබා දුන් නොමඟ යවන සුළු තොරතුරු හේතුවෙන් උන්වහන්සේගේ සැබෑ තත්ත්වය පිළිබඳව ලෝක අවධානය යොමු කරවීමට මෙතෙක් බාධා එල්ල වූ බව ටිබෙට් ටයිම්ස් පෙන්වා දෙයි. සේරා (Sera) ආරාමයට අනුබද්ධිතව කටයුතු කළ ධර්ගී හිමියන්ට එරෙහිව සිදුව ඇති මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජාත්‍යන්තර සංවිධානවල අවධානය යොමු වී තිබේ.













