ගෝලීය වශයෙන් කුමන ආකාරයේ අභියෝග මතු වුවද, රජයක් ලෙස ඒවාට සාර්ථකව මුහුණ දෙමින් ජනතාව වෙනුවෙන් නිවැරදි තීරණ ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය ප්‍රකාශ කළාය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් වූ නිවාස වෙනුවෙන් වන්දි ලබා දීම සඳහා කඩුවෙල ප්‍රදේශයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.
සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් අදියර කිහිපයක් යටතේ මෙම වන්දි මුදල් පිරිනැමීම සිදු කෙරේ. මේ වන විටත් වන්දි ලබා දීමේ කටයුතු වෙනුවෙන් රජය රුපියල් කෝටි 3000ක මුදලක් වැය කර ඇති බව මෙහිදී අනාවරණය විය. ආපදා තත්ත්වයන් හමුවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අසිත නිරෝෂණ මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී, වන්දි ලබා ගත් ප්‍රතිලාභීන් රජය ගෙන ඇති කඩිනම් පියවර පිළිබඳව සිය ස්තූතිය පළ කළහ. ස්වභාවික ආපදා මෙන්ම ගෝලීය ආර්ථික බලපෑම් හමුවේ වුවද මහජන සුභසාධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව මෙහිදී තහවුරු විය.














