සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු බිල්ලට ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අතිශය අමානුෂික සහ පිළිකුල් සහගත ක්‍රියාවක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) ප්‍රකාශ කළේය. ගෝලීය අභියෝග හමුවේ රජය රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට උත්සාහ කරන අවස්ථාවක, මෙලෙස රෝහල් සේවා අඩපණ කිරීම මහජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 48ක අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන අතර, මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. විශේෂයෙන් පානදුර මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර, ඔවුන් වර්ජකයන්ට එරෙහිව සිය විරෝධය පළ කරන අයුරු දක්නට ලැබුණි.
කෙසේ වෙතත්, වෛද්‍ය වර්ජනය නොතකා හිඟුරක්ගොඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කර රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබේ. එම රෝහලේ බාහිර රෝගී අංශය සහ සායනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු වන අතර, අසරණ රෝගීන් වෙනුවෙන් වෘත්තීය වගකීම ඉටු කරන එම වෛද්‍යවරුන්ගේ ක්‍රියාව බොහෝ දෙනාගේ අගය කිරීමට ලක්ව ඇත.














