පවතින කාලගුණික විපර්යාස සහ ඉදිරියේදී ඇති විය හැකි “එල්නිනෝ” (El Niño) තත්ත්වය හමුවේ රටේ ජල සම්පත කළමනාකරණය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. විශේෂයෙන්ම යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම මෙහිදී ප්‍රධාන අවධානයට ලක් විය.
ඉදිරි මාසවලදී ලැබිය හැකි වර්ෂාපතන පුරෝකථනයන් සහ දැනට ජලාශවල පවතින ජල ධාරිතාව පිළිබඳ සංඛ්‍යා දත්ත මෙහිදී දීර්ඝ ලෙස විශ්ලේෂණය කෙරිණි. බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජල විදුලි උත්පාදනය, ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සහ වගා බිම් වෙත ජලය මුදා හැරීම යන කරුණු සමබරව පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, මහවැලි අධ්‍යක්ෂ ජනරාල්, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. දේශගුණික විපර්යාස හමුවේ ජන ජීවිතයට සහ වගා කටයුතුවලට සිදුවිය හැකි බලපෑම අවම කිරීමට රජය කල්තියා සැලසුම් සකස් කරන බව මෙහිදී තහවුරු විය.














