ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වේගවත් කරමින් මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම අරමුණු කරගත් ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ අද (02) නිල වශයෙන් දියත් කෙරිණි. පෞද්ගලික අංශය කේන්ද්‍ර කරගත් රැකියා උත්පාදනය සහ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම මෙහි ප්‍රධාන ඉලක්කය වී තිබේ.
මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව රට ඉදිරියට මෙහෙයවීම රජයේ මූලික අරමුණ බවයි. ලෝක බැංකුව සමඟ පවතින දශක ගණනාවක සහයෝගිතාව මෙම නව ගමනට විශාල ශක්තියක් වන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නව හවුල්කාරිත්වය යටතේ ඉදිරි වසර පහ තුළ සුවිශේෂී මූල්‍ය පහසුකම් කිහිපයක් මෙරටට හිමි වීමට නියමිතව ඇත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හරහා අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික සෘජු ආයෝජන සහ ලෝක බැංකුව හරහා අමෙරිකානු ඩොලර් බිලියනයක සහනදායී මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.
පෞද්ගලික අංශයේ නවෝත්පාදන සහ තරගකාරීත්වය දිරිමත් කිරීම හරහා ඉදිරි දශකය තුළ තරුණ තරුණියන් මිලියනයකට ගුණාත්මක රැකියා අවස්ථා උදා කර දීම මෙම දැවැන්ත වැඩපිළිවෙළේ මූලික අපේක්ෂාව වේ.














