වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට සෞඛ්‍ය අමාත්‍යවරයා අනීතික ලෙස මැදිහත් වී ඇති බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (02) ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල රෝගී සත්කාරක සේවා බිඳ වැටී තිබේ. කොළඹ, ගාල්ල සහ මහනුවර ජාතික රෝහල් ඇතුළු ප්‍රධාන රෝහල් රැසක සායනික කටයුතු සහ බාහිර රෝගී අංශයේ සේවාවන් අඩාල වීමෙන් දහස් සංඛ්‍යාත රෝගීන් දැඩි අපහසුතාවයට පත් වූහ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, ස්ථාන මාරු ඇතුළු ඉල්ලීම් කිහිපයක් සඳහා රජය නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි. දුර බැහැර ප්‍රදේශවල සිට ප්‍රතිකාර සහ සායනික පරීක්ෂණ සඳහා පැමිණි රෝගීන්ට හිස් අතින් ආපසු යාමට සිදු වූ අතර, ඇතැම් රෝහල් ඉදිරිපිට රෝගීන් පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.
මෙම වර්ජනය මධ්‍යයේ වුවද හදිසි ප්‍රතිකාර සේවා, දැඩි සත්කාර ඒකක සහ මාතෘ රෝහල්වල කටයුතු පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, සාමාන්‍ය රෝගීන් මුහුණ දී ඇති මෙම දුෂ්කර තත්ත්වය පිළිබඳව රජය සහ වෛද්‍ය සංගමය අතර පවතින ගැටුම කඩිනමින් විසඳා ගත යුතු බව මහජනතාව අවධාරණය කරති.














