හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට යෝජිත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට එරෙහිව ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කිරීම හේතුවෙන් නිවාස සංවර්ධන, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාට අද (02) එම ස්ථානයෙන් පිටව යාමට සිදු විය. යෝජිත මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය සඳහා අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.
හිඟුරක්ගොඩ, දොරදෙක ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය පිහිටුවීමෙන් ප්‍රදේශයේ දැඩි පරිසර ගැටලු මතු වන බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති. දොරදෙක, කිඹුලාවල, ගම්පොළවත්ත, දොරහතර සහ මාරසිංහවත්ත යන ප්‍රදේශවල ජනතාව අද දහවල් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. හිඟුරක්ගොඩ සමුපකාර වී ගබඩාව අසල මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා දැනටමත් අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනැවිත් භූමිය සකස් කර තිබීම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම ජන ජීවිතයට සහ සෞඛ්‍යයට තර්ජනයක් බව පවසන ප්‍රදේශවාසීන්, අදාළ ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. තවදුරටත් විරෝධය දැක්වීම සඳහා ජනතාව එම ස්ථානයට රැස්ව සිටි අතර පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර වී ඇති බව වාර්තා වේ.














