කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ඉලක්ක කර ගනිමින් විවිධ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව අදාළ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටී. “හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම් පන්නා දැමූ හැටි – සමූහයට ආ සභාපතිටත් හූ සංග්‍රහයක්” යන ශීර්ෂය යටතේ සංසරණය වන වීඩියෝ දර්ශන මගින් අමාත්‍යවරයාගේ ප්‍රතිරූපයට මෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලයට දැඩි අපහාසයක් සිදුකර ඇති බව එම නිවේදනයේ අවධාරණය කර ඇත.
අදාළ සිදුවීමට පාදක වූ වීඩියෝ දර්ශනවල පෙනී සිටින හෝ මහජන විරෝධයට ලක්වන කිසිදු පුද්ගලයෙකු අමාත්‍යවරයාගේ නිල සම්බන්ධීකරණ ලේකම්වරුන් වන එම්.ආර්.එම්.ඩබ්ලිව්. ඩයස් මහතා හෝ රසිඳු යසෝද් මරගල මහතා නොවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මූලික කරුණු සොයා බැලීමකින් තොරව මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කිරීම වගකීම් විරහිත මාධ්‍ය භාවිතයක් බවත්, මෙමගින් මහජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කර තිබේ.
මෙම අසත්‍ය තොරතුරු ඇතුළත් පුවත සහ වීඩියෝ දර්ශන වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලාවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශය දැනුම් දෙයි. අදාළ ආයතන විසින් සිදුකළ මෙම දෝෂ සහගත වාර්තාකරණය නිවැරදි කරමින් සත්‍ය තොරතුරු මහජනතාව වෙත කඩිනමින් ඉදිරිපත් කළ යුතු බවට ද මෙහිදී දැඩිව අවධාරණය කර ඇත.
මුලාශ්‍රය – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නිල නිවේදනය














