අනතුරට පත් වාහන සඳහා රක්ෂණ වන්දි ගෙවීමේදී අවශ්‍ය වන රජයේ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට අදාළව, රජයේ අතිරේක රස පරීක්ෂකවරයාට අල්ලස් ලබා දුන් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පෞද්ගලික රක්ෂණ සමාගමක ඉංජිනේරුවරයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (02) නියෝග කළේය.
මෙලෙස ඇපමත මුදා හැරුණේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි ඉංජිනේරු සනත් ප්‍රියන්ත රණවීර නැමති සැකකරුය. පෞද්ගලික රක්ෂණ සමාගමක් ලෙස රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේදී, මෙම නඩුවේ පළමු සැකකරු වන විශ්‍රාමලත් රජයේ අතිරේක රස පරීක්ෂක ජයමාන්න නැමති අයගේ සේවය ලබා ගැනීම නිත්‍යානුකූලව සිදු කර ඇති බවට ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය නිකුත් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කරන අතර, රජයේ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ ආයතන අතර සිදුවන මෙවැනි ගනුදෙනුවල විනිවිදභාවය පිළිබඳව අධිකරණයේ අවධානය යොමු වී තිබේ.














