අමෙරිකානු සහ ඊශ්‍රායල යුද ආතතිය හමුවේ ඉරානය විසින් වසා දමා ඇති උපායමාර්ගිකව වැදගත් හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට දකුණු අප්‍රිකානු නෞකාවලට අවසර ලබා දීමට ඉරාන රජය තීරණය කර තිබේ. අද (අප්‍රේල් 03) වාර්තා වන පරිදි, ඉරානය විසින් මෙම “විශේෂ සහනය” ලබා දී ඇත්තේ දකුණු අප්‍රිකාව තම “මිත්‍ර රටක්” ලෙස සලකමින් වීම විශේෂත්වයකි.
ප්‍රිටෝරියා හි ඉරාන තානාපති මන්සූර් ෂකීබ් මෙහර් (Mansour Shakib Mehr) ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ සෘජු සම්බන්ධතා නොමැති මිත්‍ර රටවල නෞකාවලට ආරක්ෂිතව මෙම මුහුදු මාර්ගය භාවිත කළ හැකි බවයි. මීට පෙර චීනය, රුසියාව, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල නෞකාවලට ද මෙවැනිම අවසරයක් ලබා දී තිබුණි. මෙම තීරණයත් සමඟ දකුණු අප්‍රිකාවේ බලශක්ති සහ වෙළඳ සැපයුම් ජාලය බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, අමෙරිකාව සහ ඊශ්‍රායලය හා සම්බන්ධ ඕනෑම නෞකාවක් සඳහා හොර්මුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් තහනම් කලාපයක් ලෙස පවතින බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අවධාරණය කරයි.
















