ඇමරිකාවට ආනයනය කරනු ලබන පේටන්ට් බලපත්‍ර සහිත (Patented) ඖෂධ සඳහා 100% ක ආනයනික බද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (02) නියෝග කළේය. ඇමරිකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ ඖෂධ නිෂ්පාදනය එරට තුළම ප්‍රවර්ධනය කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව ධවල මන්දිරය පවසයි. කෙසේ වෙතත්, ඇමරිකානු රජය සමඟ විශේෂ ගිවිසුම්වලට එළඹෙන ඖෂධ සමාගම්වලට මෙම බදු මුදලින් නිදහස් වීමට හෝ එය අඩු කර ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
මෙම නව බදු පැනවීම සාමාන්‍යයෙන් බහුලව භාවිතා වන ‘Generic’ ඖෂධ සඳහා අදාළ නොවන අතර, බ්‍රිතාන්‍යය, යුරෝපය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් සමඟ ඇති කරගත් විශේෂ වෙළඳ ගිවිසුම් යටතේ එම රටවලට සහනදායී බදු අනුපාත හිමි වනු ඇත. 2029 වසරට පෙර ඇමරිකාව තුළ නව නිෂ්පාදනාගාර ආරම්භ කරන සමාගම් සඳහා බදු අනුපාතය 20% දක්වා අඩු කරන බව ද රජය නිවේදනය කර ඇත. මේ වන විටත් ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදකයින් රැසක් ඇමරිකාව තුළ ඩොලර් බිලියන 400 ක ආයෝජනයක් කිරීමට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.
ඖෂධ සමාගම්වලට රජය සමඟ සාකච්ඡා කර මෙම බදු සහන ලබා ගැනීමට දින 120 සිට 180 දක්වා සහන කාලයක් ලබා දී තිබේ. මෙම පියවර හරහා ඇමරිකානු ජනතාවට සහනදායී මිලට ඖෂධ ලබා දීමටත්, ඖෂධ නිෂ්පාදනය සඳහා වෙනත් රටවල් මත යැපීම අවම කිරීමටත් ට්‍රම්ප් පාලනාධිකාරිය බලාපොරොත්තු වේ. එහෙත්, කුඩා පරිමාණයේ ඖෂධ සමාගම්වලට මෙම බද්ද දරා ගැනීමට අපහසු වනු ඇති බවත්, එමඟින් ඇතැම් ඖෂධවල මිල ඉහළ යා හැකි බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.














