සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි බ්ලේක් ලයිව්ලි (Blake Lively) විසින් සිය ‘ඉට් එන්ඩ්ස් විත් අස්’ (It Ends with Us) චිත්‍රපටයේ සම රංගන ශිල්පී ජස්ටින් බැල්ඩෝනිට (Justin Baldoni) එරෙහිව ගොනු කර තිබූ ලිංගික හිංසන නඩුවේ චෝදනා බොහොමයක් නිව්යෝර්ක් ෆෙඩරල් විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ෆෙඩරල් විනිසුරු ලුවිස් ලිමන් විසින් ලයිව්ලි ඉදිරිපත් කළ චෝදනා දහතුනෙන් ලිංගික හිංසනය සහ අපහාස කිරීම ඇතුළු චෝදනා දහයක්ම ඉවත දමා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ජස්ටින් බැල්ඩෝනිට එරෙහිව ගිවිසුම් කඩකිරීම, පළිගැනීම සහ පළිගැනීමට අනුබල දීම යන චෝදනා තුන තවමත් විභාග වෙමින් පවතින අතර ඒවා ලබන මැයි මස දහඅට වනදා නිව්යෝර්ක්හිදී සිවිල් නඩු විභාගයක් ලෙස කැඳවීමට නියමිතයි. මෙම හොලිවුඩ් නීතිමය සටන ආරම්භ වූයේ 2024 වසරේදී වන අතර එහිදී ලයිව්ලි චෝදනා කළේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර බැල්ඩෝනි තමන්ට ලිංගික හිංසනයක් සිදු කර සමාජ මාධ්‍ය හරහා අපහාසාත්මක ප්‍රචාරයක් ගෙන ගිය බවයි.
ලයිව්ලිගේ නීතිඥ කණ්ඩායම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ ලිංගික හිංසන චෝදනා ඉවත දමා ඇත්තේ විත්තිකරුවන් නිවැරදි නිසා නොව ඇය සේවකයෙකු නොව ස්වාධීන කොන්ත්‍රාත්කාරිනියක් ලෙස කටයුතු කිරීම නිසා ඇති වූ තාක්ෂණික ගැටලුවක් මත බවයි. ලයිව්ලි ඉදිරි නඩු විභාගයේදී පෞද්ගලිකවම සාක්ෂි දීමට සූදානමින් සිටින අතර තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ මාර්ගගත අපහාසාත්මක ව්‍යාපාරයන්ට එරෙහිව යුක්තිය පතා දිගටම කටයුතු කරන බවද ඇයගේ පාර්ශ්වය අවධාරණය කර තිබෙනවා.
















