ලොව සුප්‍රසිද්ධ බර පන්තියේ (Heavyweight) බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වන බ්‍රිතාන්‍යයේ ඩෙරෙක් චිසෝරා (Derek Chisora) සහ ඇමෙරිකාවේ ඩියොන්ටේ වයිල්ඩර් (Deontay Wilder) අතර පැවැත්වීමට නියමිත සුවිශේෂී තරගයට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවට චිසෝරා අමුතුම ආකාරයකින් සහභාගී වී තිබෙනවා. වයස අවුරුදු 42 ක් වන චිසෝරා මෙම මාධ්‍ය හමුව පැවැති ලන්ඩනයේ ‘York Hall’ ශාලාව වෙත පැමිණියේ බ්‍රිතාන්‍යයේ රිෆෝම් පක්ෂයේ (Reform Party) නායක නයිජල් ෆරාජ් (Nigel Farage) සමඟ සැබෑ යුද ටැංකියක නැගී වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් එලෙස යුද ටැංකියෙන් පැමිණි දේශපාලනඥ නයිජල් ෆරාජ් මෙම නිල මාධ්‍ය සාකච්ඡාවට සහභාගී නොවූ අතර, මාධ්‍ය හමුව සම්පූර්ණයෙන්ම වෙන්ව තිබුණේ ක්‍රීඩකයන් දෙදෙනාගේ අදහස් දැක්වීම් සඳහා පමණි. මෙය සිය 50 වන වෘත්තීය බොක්සිං තරගය මෙන්ම සිය අවසන් තරගයද වන බව ප්‍රකාශ කළ චිසෝරා කියා සිටියේ තමන් මෙම තරගයේදී ඉතා ආක්‍රමණශීලීව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බැවින් තරගය වට 12 ක් දක්වා ඇදී නොයනු ඇති බවයි.
චිසෝරාගේ මෙම ප්‍රකාශයට සිනහමුසු මුහුණින් යුතුව පිළිතුරු දුන් 40 හැවිරිදි වයිල්ඩර් සඳහන් කළේ චිසෝරාට උපරිම ශක්තියෙන් තමන් සමඟ සටන් වදින ලෙසයි. දෙදෙනාම සිය 50 වන වෘත්තීය තරගය සඳහා ලබන සෙනසුරාදා ලන්ඩනයේ ‘O2 Arena’ හිදී මෙලෙස මුහුණට මුහුණ ලා තරග වැදීමට නියමිතව තිබෙනවා.














