ඉදිරි ගිම්හාන සෘතුවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන පසුබිමක, ඉන්දියානුවන් දැඩි පීඩාවකට පත්ව සිටින අතරතුර වත්මන් ඉරාන යුදමය වාතාවරණය හේතුවෙන් එරට ඩොලර් බිලියන 6 ක වටිනාකමකින් යුත් බෝතල් කළ ජල කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. යුද්ධය හේතුවෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ අපහසුතා මතු වීම නිසා ඉන්දියාවේ ප්‍රමුඛතම පානීය ජල සන්නාමයක් වන බිස්ලෙරි (Bisleri) සමාගම සිය නිෂ්පාදනවල මිල ගණන් සියයට 11 කින් ඉහළ දමා ඇති අතර බේලි (Bailley) සහ ක්ලියර් ප්‍රීමියම් (Clear Premium) වැනි සන්නාමයන්ද සිය මිල ගණන් ඉහළ දමා ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
දත්ත වාර්තාවලට අනුව ඉන්දියාවේ නාගරික කුටුම්භයන්ගෙන් සියයට 15 ක් සහ ග්‍රාමීය කුටුම්භයන්ගෙන් සියයට 06 ක් පමණ පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් බෝතල් කළ ජලය මත යැපෙන බැවින් මෙම මිල ඉහළ යාම ඔවුන්ට දැඩි ආර්ථික බරක් වනු ඇති. ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු ප්‍රවාහනයෙන් සියයට 20 ක් පමණ සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් සම්පූර්ණයෙන්ම පාහේ අවහිර කර තිබීම නිසා ගෝලීය ඉන්ධන මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාව සිය දේශීය අවශ්‍යතා සඳහා බොරතෙල් ආනයනය මත බෙහෙවින් යැපෙන බැවින් මෙම තත්ත්වය ඔවුන්ට සෘජුවම බලපා ඇති බවයි වාර්තා වන්නේ.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බෝතල් කළ ජල නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති විජයසිංහ ඩුබ්බාල් පෙන්වා දෙන්නේ බෝතල් කළ ජලයේ මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව බොරතෙල් මිල ඉහළ යාම බවයි. ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා PET රෙසින් (Polyethylene Terephthalate) නිපදවනු ලබන්නේ බොරතෙල් ආශ්‍රිතව වන අතර බොරතෙල් මිල ඉහළ යාමත් සමඟ ප්ලාස්ටික් බෝතල් සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක මිල රුපියල් 115 සිට රුපියල් 180 දක්වා අතිවිශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බෝතල් නිෂ්පාදන කර්මාන්තශාලාවලින් සියයට 20 ක් පමණ දැනටමත් තාවකාලිකව වසා දමා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
















