ඉදිරි සති කිහිපය ඇතුළත ඉරානයට අතිශය ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් තර්ජනය කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇති අතර ලෝක කොටස් වෙළෙඳපොළවල් පහත වැටී තිබෙනවා. ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ ජනාධිපති ට්‍රම්ප්, මෙම යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු හෙළි නොකිරීම නිසා ආයෝජකයින් අතර දැඩි අවිශ්වාසයක් මතුවීම මෙලෙස වෙළෙඳපොළ කැළඹීමට ප්‍රධානතම හේතුවයි.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්වරම අමෙරිකානු ඩොලර් 109 සීමාව ඉක්මවා ගිය අතර අමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ කොටස් වෙළෙඳපොළවල් රැසක මිල දර්ශකයන් පහත වැටුණා. ඉදිරි සති දෙක තුනක කාලය තුළ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කර ඔවුන්ව ගල් යුගයට ඇද දමන බවත්, අමෙරිකාව සිය මූලෝපායික අරමුණු ඉතා කෙටි කලකින් සපුරා ගන්නා බවත් ට්‍රම්ප් එහිදී සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ට්‍රම්ප් සිය කතාවෙන් යුද්ධයෙන් ඉවත් වන ආකාරය ගැන යම් සුබවාදී ප්‍රකාශයක් කරනු ඇතැයි යන බලාපොරොත්තුව මත මීට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩුවෙන් පැවතුණා.
පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ අමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් තෙල් නැව්වලට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමත් සමඟ ලෝකයේ වඩාත්ම වැදගත් තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන ප්‍රවාහන කටයුතු මුළුමනින්ම පාහේ ඇණහිට තිබෙනවා. මේ හේතුවෙන් ගෝලීය තෙල් සහ ගෑස් සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති නමුත්, ට්‍රම්ප් කියා සිටින්නේ අමෙරිකාවට මැදපෙරදිග බලශක්තිය අවශ්‍ය නොවන බැවින් ගල්ෆ් කලාපයෙන් නැව්ගත කිරීම් නිදහස් කර ගැනීම සඳහා අනෙකුත් රටවල් ඉදිරිපත් විය යුතු බවයි.














