ලොව සුප්‍රසිද්ධ ප්‍රකෝටිපති එලොන් මස්ක්ට (Elon Musk) අයත් අභ්‍යවකාශ තාක්ෂණ සමාගම වන SpaceX සමාගම, ලෝකයේ වටිනාම ප්‍රසිද්ධ සමාගමක් බවට පත්වීමේ මාවතට අවතීර්ණ වී තිබෙනවා. රොකට් නිෂ්පාදනය, අභ්‍යවකාශ ගවේෂණ තාක්ෂණය සහ ‘ස්ටාර්ලින්ක්’ (Starlink) චන්ද්‍රිකා ජාලය මෙහෙයවන මෙම සමාගම මෙතෙක් පෞද්ගලික ආයතනයක් ලෙස පැවති නමුත්, පොදු මහජනතාවට කොටස් මිලදී ගත හැකි පරිදි කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වීම (IPO) සඳහා වන මූලික රහස්‍ය ලේඛන ඉකුත් බදාදා අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ ජුනි මාසය වන විට SpaceX සමාගම නිල වශයෙන් කොටස් වෙළෙඳපොළට පිවිසීමට සැලසුම් කර ඇති බව බ්ලූම්බර්ග්, රොයිටර් සහ නිව්යෝර්ක් ටයිම්ස් වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සමාගම කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමත් සමඟ එහි වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියනය (ඩොලර් බිලියන 1,000) ඉක්මවා යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළ කරනවා. මෙලෙස සමාගම සතු වන අතිවිශාල වටිනාකමත් සමඟ එලොන් මස්ක් සතු වන පෞද්ගලික ධනය තවදුරටත් ඉහළ යන බැවින්, ඔහු ලොව ප්‍රථම ‘ට්‍රිලියනපතියා’ (Trillionaire) බවට පත්වීමටද මෙමඟින් මඟ පෑදෙන බව සඳහන්.
ඇමෙරිකානු සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) වෙත මෙලෙස රහසිගතව අයදුම්පතක් යොමු කිරීමෙන් සමාගමට සිය මූල්‍ය සහ ව්‍යාපාරික රහස් එකවරම ප්‍රසිද්ධියට පත් නොකර නියාමකයන්ගේ ප්‍රතිචාර ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා. මෙහි මීළඟ පියවර වන්නේ සමාගමේ විධායක නිලධාරීන් විසින් ලොව ප්‍රමුඛ පෙළේ මහා පරිමාණ ආයෝජකයින් හමුවී තම සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් (Roadshow) ආරම්භ කිරීමයි.
















