අසල්වැසි රුසියාවේ පවතින දැඩි මර්දනකාරී නීතිවලට සමාන වන අයුරින්, LGBTQ+ ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ ඒ සම්බන්ධ ප්‍රචාරණ කටයුතු තහනම් කෙරෙන නව පනත් කෙටුම්පතක් බෙලාරුස් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ඊයේ (02) අවසන් වරට සම්මත කරන ලදී. මෙම පනත දැන් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ (Aliaksandr Lukashenka) මහතාගේ අත්සන සඳහා යොමු කර ඇති අතර, ඔහු ඊට අත්සන් තැබීමෙන් පසු එය නිල වශයෙන් එරට නීතියක් බවට පත් වනු ඇත.
මෙම නව පනත යටතේ “සමලිංගික සබඳතා ප්‍රවර්ධනය කිරීම, ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම පිළිබඳ ප්‍රචාරණය, දරුවන් ලැබීම ප්‍රතික්ෂේප කිරීම සහ ළමා අපචාර පිළිබඳ ප්‍රචාරණය” දඬුවම් ලැබිය හැකි වරදවල් බවට පත් වේ. එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට දඩ මුදල් පැනවීම, ප්‍රජා සේවය සහ දින 15ක සිර දඬුවම් නියම කිරීමට මෙමගින් බලය ලැබේ.
සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු 1994 වසරේදී බෙලාරුස් රාජ්‍යය විසින් සමලිංගිකත්වය සාපරාධී වරදක් නොවන බවට ප්‍රකාශ කළද, එරට තුළ සමලිංගික විවාහ පිළිගැනීමක් හෝ එම ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවත් නීතිමය රාමුවක් මෙතෙක් පැවතියේ නැත. මෙම නව පනතත් සමඟ බෙලාරුස් රජය සිය සමීපතම මිතුරා වන රුසියාවේ ගතානුගතික ප්‍රතිපත්ති තවදුරටත් අනුගමනය කරන බව පෙනී යයි.














