මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ අවහිර වී ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීම සඳහා යුක්රේනය සතු නාවික තාක්ෂණය සහ පළපුරුද්ද ලබා දීමට සූදානම් බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) ප්‍රකාශ කර තිබේ. ඊයේ (02) රාත්‍රියේ විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
කළු මුහුදේ (Black Sea) නාවික නිදහස තහවුරු කිරීම සඳහා රුසියාවට එරෙහිව වසර හතරක් පුරා ලබා ඇති අත්දැකීම් මෙහිදී ඉතා වැදගත් වනු ඇතැයි සෙලෙන්ස්කි පෙන්වා දෙයි. විශේෂයෙන්ම රුසියානු නාවික හමුදාවට එරෙහිව යුක්රේනය සාර්ථකව භාවිතා කරන “මුහුදු ඩ්‍රෝන” (Sea drones) තාක්ෂණය සහ අනෙකුත් ආරක්ෂක උපාය මාර්ග හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීම සඳහා යොදා ගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම පිළිබඳව රටවල් 40ක සහභාගීත්වයෙන් පැවති අතථ්‍ය සාකච්ඡාවට යුක්රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා (Andrii Sybiha) ද එක්ව සිටි අතර, ජාත්‍යන්තර හවුල්කරුවන් සූදානම් වන්නේ නම් යුක්රේනයේ තාක්ෂණික විභවය ඒ සඳහා ලබා දීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉරාන නිෂ්පාදිත ඩ්‍රෝන යානාවලට එරෙහිව යුක්රේනය සතු දැනුම මැදපෙරදිග රටවලට ලබා දීම සඳහා සෙලෙන්ස්කි පසුගිය සතියේ සිට එම කලාපයේ සංචාරයක ද නිරත විය.













