සර්බියාවේ පවතින දරුණු දේශපාලන අර්බුදයෙන් රට මුදාගැනීමේ පියවරක් ලෙස ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචික් (Aleksandar Vucic) අද (03) දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. 2024 දෙසැම්බර් මාසයේදී නොවි සාඩ් (Novi Sad) දුම්රිය ස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියයාමේ සිද්ධියත් සමඟ රජයට එරෙහිව සහ දූෂණයට එරෙහිව ආරම්භ වූ මහජන විරෝධතා හමුවේ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
විපක්ෂ කණ්ඩායම් සහ විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ 2027 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල්තියා පවත්වන ලෙසයි. බෙල්ග්‍රේඩ් (Belgrade) නුවර පසුගියදා පැවති ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පසු, මෙම වසරේ අගභාගයේදී මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා ඉඟි කර තිබුණි.
අද පැවැත්වෙන සාකච්ඡා සඳහා රජයට සහාය දක්වන සමාජවාදී ව්‍යාපාරය, හංගේරියානු සහ බොස්නියානු සුළුතර පක්ෂවල නියෝජිතයින් සහභාගී වීමට නියමිතය. කෙසේ වෙතත්, විපක්ෂ ක්‍රියාකාරීන් පවසන්නේ පවතින විරෝධතා මැඩපැවැත්වීම සඳහා රජය මෙලෙස ඵල රහිත සාකච්ඡා සංවිධානය කරන බවයි. සර්බියාවේ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් සිසුන් ඇතුළු සියලුම පාර්ශ්වයන් මෙම සංවාදයට එක්කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.













