ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ විශාලතම පල්ලිය වන මිල්වොකි ඉස්ලාමීය සමිතියේ (ISM) සභාපති සලා සර්සූර් (Salah Sarsour) මහතා ඇමරිකානු ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය (ICE) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පලස්තීන සම්භවයක් සහිත ඇමරිකානු වැසියෙකු වන 53 හැවිරිදි සර්සූර් මහතා වසර 30කට වැඩි කාලයක් ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවෙකු ලෙස ජීවත් වූවෙකි.
පසුගිය සඳුදා වාහනය පදවාගෙන යමින් සිටියදී නියෝජිතයින් 10 දෙනෙකු පමණ පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, දැනට ඔහු ඉන්ඩියානාහි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටී. ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ මීට වසර ගණනාවකට පෙර, එනම් ඔහු නව යොවුන් වියේ පසුවෙද්දී බටහිර ඉවුරේදී ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට පත්වීම පදනම් කරගෙන ඔහු “අන්තවාදීන්ට සහාය දක්වා ඇති” බවයි.
කෙසේ වෙතත්, ඊශ්‍රායල යුද අධිකරණ පද්ධතිය තුළ පවතින 96%ක ඉහළ වරදකරු කිරීමේ ප්‍රතිශතය සහ වධහිංසා පමුණුවා පාපොච්චාරණ ලබා ගැනීමේ ඉතිහාසය පිළිබඳව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. ට්‍රම්ප් පරිපාලනය විසින් පලස්තීන හිතවාදී හඬවල් මර්දනය කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවට පල්ලියේ බලධාරීන් චෝදනා කරයි.

















