පසුගිය වසරේ පැවති විරෝධතාවලදී සිදුවූ මරණ සම්බන්ධ විමර්ශන සඳහා නේපාල හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි (K.P. Sharma Oli) සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් (Ramesh Lekhak) යන මහත්වරුන්ගේ රැඳවුම් කාලය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට කත්මණ්ඩු දිස්ත්‍රික් අධිකරණය ඊයේ (02) නියෝග කළේය. සැප්තැම්බර් මාසයේ පැවති මහජන නැගිටීමෙන් පසු ඕලි මහතාගේ රජය පෙරළා දමා බාලේන්ද්‍ර ෂා (Balendra Shah) මහතා අගමැති ලෙස දිවුරුම් දීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම් සිදු විය.
2025 වසරේ පැවති විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයින් 76 දෙනෙකු මියගිය මර්දනකාරී ක්‍රියාවලියට මෙම දෙපළගේ සම්බන්ධතාවය පිළිබඳව දැනට පරීක්ෂණ පැවැත්වේ. කෙසේ වෙතත්, තමන් එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුතු නැති බව ඕලි මහතා සහ හිටපු අමාත්‍යවරයා පවසති. 74 හැවිරිදි ඕලි මහතා හෘද රෝග සහ වකුගඩු ආබාධවලින් පෙළෙන බැවින් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර, ඒ අනුව මෙම දෙවන රැඳවුම් කාලය දීර්ඝ කිරීම සිදු විය. මෙම සිදුවීමත් සමඟ නේපාලයේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව නැවතත් කතාබහක් නිර්මාණය වී තිබේ.

















