ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් (Cable Car) ව්‍යාපෘතිය හඳුන්වා දීමත් සමඟ අම්බුළුවාව ආගමික සහ ජෛව විවිධත්ව සංකීර්ණයට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. සිය 30 වැනි සංවත්සරය සමරන මෙම සුවිශේෂී පාරිසරික සහ බහු ආගමික මධ්‍යස්ථානය වෙත දැනට මෙරටට පැමිණෙන මුළු විදේශීය සංචාරකයන්ගෙන් සියයට 8 ක පමණ පිරිසක් ඇදී එන බවයි වාර්තා වන්නේ.
කුලුනු නවයකින් සමන්විත කිලෝමීටර් 1.5 ක දිගින් යුතු මෙම නව ප්‍රවාහන පද්ධතිය හරහා ගමන් කාලය අවම කර සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීමෙන් විදේශීය සංචාරක ප්‍රතිශතය සියයට 10 ත් 15 ත් දක්වා ඉහළ නැංවීම පාලනාධිකාරියේ අරමුණ වී තිබෙනවා. ව්‍යාපෘතියේ සංවත්සර උත්සවය අමතමින් අම්බුළුවාව පාලක මණ්ඩලයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා කියා සිටියේ මෙම සංවර්ධන කටයුතු මඟින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සෘජු දායකත්වයක් ලැබෙන බවයි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියට අදාළව පැනනැඟී ඇති නියාමන බාධාවන් හේතුවෙන් ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වීමේ අවදානමක්ද මතු වී තිබෙනවා. ශ්‍රී ලංකාව, ඇමෙරිකාව සහ චීනය යන රටවල ආයෝජකයන් එක්ව ‘Amber Adventures’ සමාගම යටතේ 2022 ආර්ථික අර්බුද සමයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 12.75 ක ආයෝජනයක් ලෙස මෙය මෙරටට ගෙන එනු ලැබුවා. වසර 13 කට පසු මෙහි පූර්ණ අයිතිය රජයට නොමිලේ පැවරීමේ පදනම මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
නායයෑම් අවදානමක් පවතින බව පවසමින් සිදු කළ මෙම අත්හිටුවීම නිසා ආයෝජකයන් මෙරටින් ඉවත් වීමට පවා අනතුරු ඇඟවූ අතර පසුව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) මඟින් තහවුරු කරන ලද්දේ මෙම ඉදිකිරීම් නිසා නායයෑම් අවදානමක් සිදු නොවන බවයි. මෙවැනි බාධාවන් මධ්‍යයේ වුවද අම්බුළුවාව ආයතනයේ මූල්‍ය වර්ධනය ඉතා සාර්ථක මට්ටමක පවතින අතර 2019 සිට 2024 දක්වා කාලය තුළ එහි ආදායම 21 ගුණයකින් ඉහළ ගොස් ඇති අතර ප්‍රාග්ධන වත්කම් රුපියල් මිලියන 372 සිට රුපියල් බිලියන 1.4 දක්වා වර්ධනය වී තිබෙනවා.
මෙම 30 වැනි සංවත්සරයට සමගාමීව අම්බුළුවාව පරිශ්‍රයේ නව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයකට මුල්ගල තැබීම සහ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන්ගේ පරිත්‍යාගයෙන් එකතු කළ දුර්ලභ පොත්පත්වලින් සමන්විත ‘නියංගොඩ විජිතසිරි ජාත්‍යන්තර පුස්තකාලය’ විවෘත කිරීමද සිදු කෙරුණා.

















