මීට වසර 16කට පෙර මුහුදු මාර්ගයෙන් කැනඩාවට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයෙකු වන කුමාර් තුරෙයිසිංහම් නැමැත්තා එරටින් පිටුවහල් කිරීමට අදාළ අධිකරණ ක්‍රියාවලියට තමන් මැදිහත් නොවන බව කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, එවැනි පුද්ගලයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන් මුහුණ දෙන අවදානම සහ අනතුරු පිළිබඳව තමන් හොඳින්ම දන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පිළිගෙන තිබීම විශේෂත්වයක්.
පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, 2010 වසරේදී ‘M.V. Sun Sea’ නෞකාවෙන් කැනඩාවේ බටහිර වෙරළට ළඟා වූ 500කට ආසන්න සරණාගතයින් පිරිස අතර සිටි මෙම පුද්ගලයාගේ ඉරණම තීරණය කිරීමට වඩාත්ම සුදුසු ස්ථානය එරට අධිකරණය බවයි. මීට පෙර කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ නීතීඥවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි සමයේදී, අදාළ නෞකාවෙන් පැමිණි පුද්ගලයන් නැවත ශ්‍රී ලංකාවට නොයවන ලෙස තමන් පෙනී සිටි බවද අමාත්‍යවරයා මෙහිදී මතක් කර දුන්නා. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ වසර කිහිපයකට පෙර එලෙස ශ්‍රී ලංකාවට යැවූ එක් අයෙකු ඝාතනයට ලක් වූ බවට එකල චෝදනා එල්ල වී තිබීමයි. කෙසේ වෙතත් 2025 වසරේදී ආනන්දසංගරී මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් LTTE සංවිධානයට සම්බන්ධ කිසිදු කරුණකදී තීන්දු තීරණ ගැනීමෙන් වැළකී සිටින බවයි.
කැනඩාවේ සරණාගතයින් සඳහා වන කවුන්සිලයේ 2015 වාර්තාවකට අනුව, ‘M.V. Sun Sea’ නෞකාවෙන් පැමිණි අයගෙන් සියයට 63කගේ පමණ සරණාගත අයදුම්පත් පිළිගෙන තිබෙනවා. මෙම නෞකාව මෙහෙයවූ බවට චෝදනා ලැබූ සත්‍යපවන් ආසීර්වාදම් නැමැත්තා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු තමන්ට අමානුෂික ලෙස වධහිංසා පමුණුවන ලද බවට දිවුරුම් ප්‍රකාශයක් මඟින් පවසා තිබූ අතර පසුව ඔහු රිය අනතුරකින් මිය ගිය බව වාර්තා වුණා. වත්මන් නඩුවේ විත්තිකරු වන තුරෙයිසිංහම්ද කැනඩාවේ රැඳී සිටීම සඳහා තමන්ට ඇති අයිතිය වෙනුවෙන් කරුණු දක්වමින් මෙම මරණය සහ හිංසනයන් පිළිබඳව අධිකරණය හමුවේ සිහිපත් කර තිබෙනවා.
තමන් නැවත ශ්‍රී ලංකාවට ගියහොත් එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයට සම්බන්ධ වූවෙකු ලෙස සලකා සැකයට බඳුන් වීමේ දැඩි අවදානමක් පවතින බව තුරෙයිසිංහම්ගේ නීතීඥවරයා පවසනවා. වසර ගණනාවක් පැවති යුද ගැටුම් සහ වෙඩි හඬ හමුවේ බියෙන් පත්ව ශ්‍රී ලංකාවෙන් පළා ආ බව පවසන තුරෙයිසිංහම්, මුලින්ම තායිලන්තයට ගොස් එතැනින් කැනඩාව බලා යාත්‍රා කළ පැරණි නෞකාවට ගොඩ වී ඇත්තේ ඉතාමත් අසීරුවෙනි. ආහාර පාන නොමැතිව රළු මුහුදේ මාස ගණනාවක් බියෙන් සැකෙන් ගත කළ අයුරු ඔහු පරිවර්තකයෙකු මාර්ගයෙන් මාධ්‍ය වෙත හෙළි කළා.
ඔහුගේ සරණාගත අයදුම්පත ප්‍රතික්ෂේප වුවද, පසුගිය කාලය පුරා වඩු කාර්මිකයෙකු ලෙස වැඩ බලපත්‍රයක් මත ඔහු ටොරොන්ටෝ හි ජීවත් වී තිබෙනවා. එහෙත් තමාට සිය බිරිඳ සහ දරුවන් තිදෙනා මුණගැසීමට නොහැකි වීමේ දැඩි මානසික පීඩනය නිසා ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති අතර, පසුගියදා බීමත්ව රිය පැදවීමේ වරදකට වරදකරු වීම නිසා ඔහුව රටින් පිටුවහල් කිරීමට කැනේඩියානු දේශසීමා සේවා ආයතනය (CBSA) පියවර ගෙන තිබෙනවා. වසර 16ක් තිස්සේ කැනඩාවේ ජීවත් වීම නිසා තමන් දැන් කැනේඩියානුවෙකු ලෙස හැඟෙන බවත්, තමන්ව නැවත හරවා යැවුවහොත් කුමක් වේදැයි කියා දැඩි බියකින් පසුවන බවත් තුරෙයිසිංහම් අවසන් වශයෙන් පවසා සිටියා.
















