2022 වසරේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට මේ දක්වා මාසයක් තුළ එල්ල කරන ලද වැඩිම ඩ්‍රෝන ප්‍රහාර සංඛ්‍යාව පසුගිය මාර්තු මාසයේදී වාර්තා වී ඇති බව යුක්රේන ගුවන් හමුදා දත්ත ඇසුරින් සිදුකළ විශ්ලේෂණයකදී අනාවරණය වී තිබේ. ඊයේ (02) ප්‍රකාශයට පත් කරන ලද මෙම වාර්තාවට අනුව, රුසියාව විසින් පසුගිය මාසය තුළ පමණක් යුක්රේනයට ඩ්‍රෝන යානා 6,462ක් එල්ල කර ඇත. මෙය පෙබරවාරි මාසයට වඩා 28%ක වැඩිවීමකි.
කෙසේ වෙතත්, එම කාලය තුළ රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාර සංඛ්‍යාව 138ක් දක්වා 52%කින් අඩු වී ඇති බව දත්ත පෙන්වා දෙයි. එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිලවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් බිම හෙළීමට යුක්රේන ගුවන් ආරක්ෂක අංශ සමත්ව ඇති අතර, මෙය 2025 පෙබරවාරි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම සාර්ථකත්වයයි. මාර්තු 24 වන දින එල්ල වූ දහවල් කාලයේ ප්‍රහාරයකින් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් ලෙස සැලකෙන ලිවිව් (Lviv) නගරයට ද දැඩි හානි සිදුවිය.
ඇමරිකානු මැදිහත්වීමෙන් යුද්ධය අවසන් කිරීම සඳහා පැවති සාකච්ඡා මාර්තු මාසයේදී අඩාල වී ඇති අතර, ඇමරිකාව සිය අවධානය ඉරානය සමඟ පවතින යුද්ධය වෙත යොමු කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත. වසර හතරක් පුරා ඇදී යන මෙම රුසියානු – යුක්රේන ගැටුම තවදුරටත් දරුණු මුහුණුවරක් ගනිමින් පවතින බව මෙම නවතම දත්ත සනාථ කරයි.

















