දකුණු ලෙබනනයේ UNIFIL (එක්සත් ජාතීන්ගේ ලෙබනන් අතුරු බලකාය) යටතේ සේවය කළ ඉන්දුනීසියානු සාම සාධක භටයින් තිදෙනෙකු ඝාතනය කිරීම ඉන්දියාව ඊයේ (02) දැඩි ලෙස හෙළා දුටුවේය. මෙම ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවිය යුතු බව (Accountability) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.
වර්තමානය වන විට UNIFIL බලකාය යටතේ ඉන්දීය භටයින් 600ක් පමණ ලෙබනනයේ සේවය කරති. හිස්බුල්ලා සංවිධානය සහ ඉන්දුනීසියානු සාම සාධක භටයින් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) එල්ල කරන ප්‍රහාරයන් පිළිබඳව ඉන්දියාව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත. ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනය ආක්‍රමණය කිරීමත් සමඟ සාම සාධක භටයින්ගේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය මෙහිදී විශේෂ අවධානයට ලක් විය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දිර් ජයිස්වාල් (Randhir Jaiswal) මහතා පෙන්වා දුන්නේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමත් සමඟ මැදපෙරදිග අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට එරෙහිව එල්ල වන මෙවැනි ප්‍රහාරයන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ද ඉන්දියාව වැඩිදුරටත් පවසා සිටී.

















