ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලයේ (Sri Lanka-Benelux Business Council) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබි ඩි බෝවර් (Wiebe De Boer) මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. තානාපති කාර්යාලයේදී පැවැති මෙම සුහද හමුවේදී දෙරටේ පෞද්ගලික අංශ අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව කවුන්සිලයේ සභාපතිවරයා සිය දැඩි උනන්දුව පළ කර සිටියා.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින වත්මන් වෙළඳ සබඳතා සහ ඒවා තවදුරටත් පුළුල් කිරීම සඳහා පෞද්ගලික අංශයට දිය හැකි දායකත්වය පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේම අවධානය යොමු වුණා. බෙනිලක්ස් කලාපය සමඟ ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලය වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කරමින් සිටිනවා. 2026 වසරේදී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් දෙරට අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වයද මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරුණා.
දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී තිබෙනවා. ඒ අනුව ලොජිස්ටික්ස් සහ වරාය සංවර්ධනය, පුනර්ජනනීය බලශක්තිය මෙන්ම සමුද්‍රීය සේවා ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉන්දියන් සාගරයේ ප්‍රධාන නැව් මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව පිහිටා තිබීමත්, ලොජිස්ටික්ස්, ජල කළමනාකරණය සහ තිරසාර කෘෂිකර්මාන්තය පිළිබඳව නෙදර්ලන්තයට ඇති ඉහළ ප්‍රවීණත්වයත් උපයෝගී කර ගනිමින් වඩාත් ගැඹුරු සහයෝගීතාවයකට එළඹීමට ඇති හැකියාව මෙහිදී පෙන්වා දුන්නා.
නෙදර්ලන්ත ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කවුන්සිලය දරන උත්සාහයන් පිළිබඳවද මෙහිදී තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා. එසේම දෙරටේ ව්‍යාපාරිකයන් අතර සබඳතා (B2B) වර්ධනය කිරීම සඳහා විශේෂිත ව්‍යාපාරික සංසද, ජාලකරණ උත්සව සහ දැනුම හුවමාරු කර ගැනීමේ සැසි පැවැත්වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. මෙම සාකච්ඡාවේ ඉදිරි පියවරක් ලෙස, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛතා ක්ෂේත්‍ර සහ විභව මුලපිරීම් ඇතුළත් කෙටි සංකල්ප පත්‍රිකාවක් තානාපතිවරයා වෙත යොමු කිරීමට කවුන්සිලය එකඟ වී තිබෙනවා.

















