ඉරානයට එල්ල වූ ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් එරට විශාලතම වානේ නිෂ්පාදන මධ්‍යස්ථාන දෙක වන කුසෙස්තාන් (Khuzestan Steel Company) සහ මොබාරකේ (Mobarakeh Steel Company) යන ආයතනවල මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව එම සමාගම් ප්‍රකාශ කර තිබේ. පසුගිය සිකුරාදා සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කළ මෙම ප්‍රහාර හේතුවෙන් ඉරාන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ලෝකයේ 10 වන විශාලතම වානේ නිෂ්පාදකයා වන ඉරානයේ මෙම කර්මාන්තශාලා යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවම වශයෙන් මාස හයක සිට වසරක කාලයක් ගතවනු ඇති බව කුසෙස්තාන් වානේ සමාගමේ මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහ්රාන් පක්බින් (Mehran Pakbin) මහතා පෙන්වා දෙයි. මොබාරකේ සමාගම පවසන්නේ අධික ප්‍රහාර හමුවේ සිය නිෂ්පාදන මාර්ග සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති අතර, කොටස් වෙළඳපොළේ ද පසුබෑමක් දක්නට ලැබේ. බටහිර සම්බාධක මධ්‍යයේ වුවද වානේ අපනයනය හරහා ඉරානය ලබාගත් ආර්ථික ශක්තියට මෙම ප්‍රහාර දැඩි පහරක් වී ඇති අතර, ගෝලීය සැපයුම් දාමයට ද මෙයින් බරපතල බලපෑමක් එල්ල වනු ඇත. මේ පිළිබඳව අදහස් දැක්වීම ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ ඇමරිකානු මධ්‍යම අණසක (Centcom) මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇත.














