කෘතිම බුද්ධිය (AI) හුදු ප්‍රසිද්ධියට පමණක් සීමා නොවී සැබෑ ලෝකය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද සහ ශ්‍රී ලංකාව වැනි රටවලට ඉන් ඇති වන බලපෑම කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කෙරුණු “AI Impact Forum” සමුළුව පසුගියදා පැවැත්වුණා. කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, තාක්ෂණවේදීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරනු ලැබුවේ Cut+Dry සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී මෙන්ම Co Dev Labs හි සමාරම්භක ශනිල් ප්‍රනාන්දු මහතා විසිනුයි. ශ්‍රී ලංකාව තුළ නැඟී එන AI තාක්ෂණයන් ස්ථාපිත කිරීම සඳහා Co Dev Labs ආයතනය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.
සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් Windsurf සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් වැන්ග් මහතා වර්තමානයේ බොහෝ දෙනෙකු තුළ පවතින ප්‍රධානතම බියක් වන AI නිසා රැකියා අහිමි වීම පිළිබඳව අදහස් දක්වා සිටියා. එහිදී ඔහු පෙන්වා දුන්නේ රැකියා අතුරුදන් වනවාට වඩා සිදු වන්නේ මිනිසුන් වැඩ කරන ආකාරය වෙනස් වීම බවයි. තාක්ෂණයේ දියුණුවට වඩා වර්තමානයේ පවතින ලොකුම බාධාව වන්නේ මෙම නව මෙවලම් නිසි ලෙස භාවිත කිරීමට කණ්ඩායම් සතු නොදැනුවත්කම බවත්, එම හිඩැස පියවීමට Co Dev Labs වැනි ආයතන කටයුතු කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නා. පද්ධති වඩාත් කාර්යක්ෂම වන විට ඉදිරියේදී සීමාවන් යටිතල පහසුකම් සහ උසස් චිප් නිෂ්පාදනය දෙසට ගමන් කරනු ඇති බවද ඔහු සඳහන් කළා.
මෙහිදී පැවැති ප්‍රධාන මණ්ඩල සාකච්ඡාව සඳහා WSO2 නිර්මාතෘ සංජීව වීරවර්ණ, හසෙනිඩ් (hSenid) සමූහයේ සභාපති දිනේෂ් සපරමාදු, ආර්ථික විද්‍යාඥ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මනි කුලසූරිය යන මහත්වරුන් එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ මනි කුලසූරිය මහතා කියා සිටියේ AI ලෝකය තුළ සාර්ථක වීමට නම් සෑම කෙනෙකුම තමන්ගේ සමස්ත ව්‍යාපාරික ආකෘතියම අලුතින් සිතා බැලිය යුතු බවයි. කෙසේ වෙතත් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කළ සංජීව වීරවර්ණ මහතා පෙන්වා දුන්නේ AI ප්‍රබල මෙවලමක් වුවද, ඩිජිටල් යටිතල පහසුකම් දියුණු වෙමින් පවතින වෙළෙඳපොළවල් තුළ තවමත් මානව ඉංජිනේරුවන් මත යැපීම වඩාත් ලාභදායී වන බවයි. එසේම පාලනයකින් තොරව වේගයෙන් දේවල් සිදු කිරීමට යාම අනතුරුදායක විය හැකි බවටද ඔහු අනතුරු ඇඟෙව්වා.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙරට ජාතික මට්ටමේ දැක්මක් ඉදිරිපත් කරමින් කියා සිටියේ AI යටිතල පහසුකම් සඳහා මෑතකාලීන ආයෝජන වැදගත් වුවද, රටේ වඩාත්ම හදිසි ප්‍රමුඛතාවය රැකියා උත්පාදනය බවයි. මෙම තාක්ෂණය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් සමාජ අසමානතාවය තවදුරටත් පුළුල් විය හැකි බවත්, අන්තර්ජාල සම්බන්ධතාවය සහ තාක්ෂණයට ඇති ප්‍රවේශය වැනි මූලික ගැටලුවලට ප්‍රථමයෙන් විසඳුම් ලබා දෙන්නේ නම් කෘෂිකර්මාන්තය වැනි අංශවලින් ශ්‍රී ලංකාවට විශාල වාසි ලබාගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.
මෙහිදී ඉංජිනේරුවන්ගේ භූමිකාව වෙනස් වන ආකාරය පිළිබඳවද අවධානය යොමු වූ අතර, AI මඟින් කේත ලිවීම (Code generation) පහසු කළද මිනිස් වටිනාකම ගැටලු හඳුනා ගැනීම සහ විවේචනාත්මක චින්තනය මත රඳා පවතිනු ඇතැයි සාකච්ඡා වුණා. දිනේෂ් සපරමාදු මහතා සඳහන් කළේ සමාගම් දැන් සාමාන්‍ය දැනුම ඇති අය බඳවා ගැනීමෙන් වැළකී, ගැඹුරු විෂය ප්‍රවීණතාවයක් ඇති සහ මෙම මෙවලම් කාර්යක්ෂමව හැසිරවිය හැකි පුද්ගලයින්ට මුල් තැන දෙන බවයි.
අවසාන වශයෙන් මෙම සමුළුව මඟින් අවධාරණය කෙරුණේ ලෝකය පුරා AI වේගයෙන් ඉදිරියට යන බැවින් ශ්‍රී ලංකාව සතු දක්ෂතා උපයෝගී කර ගනිමින් මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගැනීමට ක්‍රියා කළ යුතු හොඳම කාලය මෙය බවයි.














