ලෝකයේ බලශක්ති වෙළඳාමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් හසුරුවන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz), ඇමරිකානු සහාය රහිතව යළි විවෘත කර ගැනීම සඳහා ඉන්දියාව ඇතුළු රටවල් 60කට අධික සංඛ්‍යාවක් එක්ව “Plan B” නමින් හදිසි සැලසුමක් සකස් කරමින් පවතින බව වාර්තා වේ. බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් ඊයේ (02) පැවති අතථ්‍ය සාකච්ඡාවකදී (Virtual meeting) මෙම තීරණය ගෙන ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු නොකර ඇමරිකානු හමුදා මෙහෙයුම් නතර කරනු ඇතැයි පවතින සැකය හේතුවෙනි.
පර්සියානු ගල්ෆ් කලාපය සහ අරාබි මුහුද යා කරන එකම මුහුදු මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යුද්ධයට පෙර දිනකට නෞකා 100ක් පමණ ගමන් කළද, වර්තමානය වන විට එය නෞකා 3-4ක් දක්වා දරුණු ලෙස පහත වැටී තිබේ. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය සහ කටාර් වැනි ප්‍රධාන බලශක්ති අපනයනකරුවන්ගේ බොරතෙල් සහ ස්වභාවික වායු (LNG) සැපයුම් සඳහා මෙම මාර්ගය අතිශය තීරණාත්මක වේ.
ඉන්දියාව වැනි බලශක්තිය මත යැපෙන ආසියානු ආර්ථිකයන්ට මෙම අවහිරය සෘජුවම බලපාන බැවින්, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික විකල්පයන් ඔස්සේ මෙම නාවික ගමන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම ලෝක ප්‍රජාවගේ මූලික අරමුණ වී තිබේ. ඉරානයට උතුරින් සහ ඕමානයට දකුණින් පිහිටි මෙම පටු මුහුදු තීරය අවහිර වීම ගෝලීය තෙල් මිල ඉහළ යාමට සහ සැපයුම් දාම බිඳ වැටීමට ප්‍රධානතම හේතුව වී ඇත.














