ශ්‍රේෂ්ඨාධිකරණ (SC) සහ අභියාචනාධිකරණ (AC) විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව හේතුවෙන් සමස්ත නීති ක්ෂේත්‍රය තුළ මෙන්ම සමස්ත රාජ්‍ය සේවය තුළම දැඩි නොසන්සුන්තාවක් නිර්මාණය වන බවට විපක්ෂය ඊයේ දිනයේදී චෝදනා කර සිටියා.
ප්‍රවීණ නීති වෘත්තිකයන් වන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ, රජය ගෙන එන මෙම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය උල්ලංඝනය කිරීමක් වන බවයි. එබැවින් තම යෝජනාව වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් නොව, මෙරට සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බව යැයි මහාචාර්ය පීරිස් මහතා අවධාරණය කළා.
මෙම පියවර නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ බොහෝ පිරිසකට අහිතකර බලපෑම් එල්ල වන බව පෙන්වා දුන් එම මහත්වරුන් දෙදෙනාම කියා සිටියේ, මහේස්ත්‍රාත්වරුන්, මහාධිකරණ සහ දිස්ත්‍රික් උසාවි විනිසුරුවරුන්ගේ උසස්වීම්වලටද මෙයින් දැඩි බාධා පැමිණෙන බවයි.
ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත්, මහාධිකරණ සහ දිස්ත්‍රික් උසාවිවලට අනුයුක්තව විනිසුරුවරුන් 400 කට අධික පිරිසක් සේවය කරන අතර, ඔවුන් සියල්ලන්ටම මෙරට ඉහළම අධිකරණ වන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය දක්වා උසස්වීම් ලැබීමේ සාධාරණ බලාපොරොත්තුවක් ඇති බව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී මතක් කර දුන්නා. රජයේ මෙම තනි තීරණය නිසා ඔවුන්ගේ එම බලාපොරොත්තු අහිමි වන බවද ඔහු පෙන්වා දුන්නා. මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන රජයද මෙවැනිම තීරණ ගැනීමට උත්සාහ කළ අවස්ථාවලදී නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගේ උපදෙස් මත එම තීරණ අත්හැර දැමූ බවද ඔහු වැඩිදුරටත් සිහිපත් කළා.
මහාචාර්ය පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ මෙවැනි සංවේදී වෙනසක් සිදු කිරීමට රජය මෙතරම් කලබල වන්නේ ඇයිද යන්නයි. ඔහු අවධාරණය කළේ මෙවැනි වෙනසක් සිදු කළ යුතු නිත්‍යානුකූල සහ එකම ක්‍රමය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හරහා පමණක් බවයි.














