වසර 76ක ඉතිහාසයක් ඇති නේටෝ (NATO) ආරක්ෂක සන්ධානය සිය ඉතිහාසයේ දරුණුතම අර්බුදයට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම සන්ධානයෙන් ඇමරිකාව ඉවත් කරගන්නා බවට සිදු කර ඇති තර්ජනය මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ඉරානයට එරෙහි ගුවන් ප්‍රහාරවලින් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා යුරෝපීය රටවල් සිය නාවික හමුදාවන් එවීම ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි කෝපයට හේතු වී ඇත.
“ඔබ මා සිටින තැන සිටියා නම් ඔබත් මෙසේ කරන්නේ නැද්ද?” යනුවෙන් රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් ප්‍රශ්න කර තිබේ. නේටෝ සංවිධානය යනු “එක් පැත්තකට පමණක් වාසි සැලසෙන මාර්ගයක්” (One-way street) නොවිය යුතු බව පවසන ඇමරිකානු බලධාරීන්, යුරෝපීය මිත්‍ර රටවල් ඇමරිකාවේ යුද ප්‍රයත්නයට සහාය නොදීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කර සිටී.
යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පෙන්වා දෙන්නේ ඇමරිකාව නිල වශයෙන් නේටෝවෙන් ඉවත් වුවත් නැතත්, යුරෝපයට එරෙහිව එල්ල වන ප්‍රහාරයකදී ඇමරිකාවේ සහාය තවදුරටත් හිමි නොවනු ඇති බවට සැකයක් මතුව ඇති බවයි. යුක්රේන යුද්ධය හමුවේ වුවද නොබිඳී පැවති මෙම සන්ධානය, යුරෝපයෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි ඉරාන යුද්ධය හේතුවෙන් මෙලෙස බිඳ වැටීමේ තර්ජනයකට ලක්ව තිබීම ලෝක දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයකි.














