හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක රැඳී සිටි විදේශීය ජාතිකයින් 150 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර බහුතරයක් චීන ජාතිකයන් වන අතර, ඊට චීන ජාතික පිරිමි පුද්ගලයන් 129ක් සහ කාන්තාවන් 06ක් ඇතුළත්. මීට අමතරව වියට්නාම ජාතික පිරිමි පුද්ගලයන් 10ක් සහ කාන්තාවන් තිදෙනෙක්ද, තායිවාන් ජාතික කාන්තාවක් සහ මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයෙකුද මේ අතර වන බවයි පොලිස් වාර්තා සඳහන් කරන්නේ.
වැටලීම සිදු කරන අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ඩෙස්ක්ටොප් පරිගණක 99ක්, ලැප්ටොප් පරිගණක 26ක් සහ ජංගම දුරකතන 259ක් වැනි විශාල සන්නිවේදන උපාංග තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පිරිස මීට මාසයකට පමණ පෙර මෙම හෝටලයට පැමිණ ලැගුම් ගෙන ඇති බවයි. පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු මෙම වැටලීම සිදු කර තිබෙනවා.
මෙම පිරිස සංචාරක හෝටලයේ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා හෝ වෙනත් සංවිධානාත්මක පරිගණක අපරාධ සිදු කරන්නට ඇති බවට පොලීසිය දැඩි ලෙස සැක කරනවා. ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස එම හෝටලය තුළම රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සහ විමර්ශන පවත්වනු ලබනවා.














