2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. එම මාසය තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 183,979 ක් වන අතර, එය පසුගිය වසරේ (2025) මාර්තු මාසයට සාපේක්ෂව සියයට 19.7 ක කැපී පෙනෙන පසුබැස්මක්.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 47,533 ක්. එය සමස්ත සංචාරක පැමිණීමෙන් සියයට 26 ක ප්‍රතිශතයක් ගන්නවා.
මීට අමතරව ප්‍රධාන පෙළේ සංචාරක වෙළෙඳපොළවල් රැසකින්ද සංචාරකයන් මෙරටට පැමිණ ඇති අතර, ඒ අනුව එක්සත් රාජධානියෙන් 18,092 ක්ද, රුසියාවෙන් 15,685 ක්ද, චීනයෙන් 14,064 ක්ද, ජර්මනියෙන් 13,429 ක් සහ ප්‍රංශයෙන් 8,359 ක් වශයෙන් සංචාරකයින් මාර්තු මාසය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් මාර්තු මාසයේ වාර්තා වූ මෙම පසුබැසීම මධ්‍යයේ වුවද, 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා වූ පළමු කාර්තුව තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 740,634 ක් වැනි ඉහළ මට්ටමක පවතින බවද සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත මඟින් අනාවරණය වනවා.














