කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ධීවර කර්මාන්තයේ නිරත කිමිදුම්කරුවන් වෙනුවෙන් විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. රජයේ ධීවර ප්‍රතිපත්තියෙහි අඩංගු යෝජනා ක්‍රියාවට නැංවීමේ පියවරක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ධීවර කාර්මිකයෙකු ධීවර කටයුතු හා සබැඳි කිමිදුම් කටයුත්තක නිරතව සිටියදී සිදු වන හදිසි අනතුරකින් මරණයට පත් වුවහොත් රුපියල් ලක්ෂ 12 ක මුදලක් ගෙවීමට නියමිතයි. මේ වෙනුවෙන් ධීවර කාර්මිකයා වසරක කාලයක් සඳහා ගෙවිය යුතු රක්ෂණ වාරිකය රුපියල් 1,920 ක් පමණක් වන බව සඳහන්.
මීට අමතරව රුපියල් ලක්ෂ 15 ක රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් 2,550 ක වාරිකයක්ද, රුපියල් ලක්ෂ 20 ක ඉහළම රක්ෂණ ආවරණයක් සඳහා වාර්ෂිකව රුපියල් 3,600 ක වාරිකයක්ද වශයෙන් තමන්ට රිසි පරිදි තෝරා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
මරණයකදී සිදුවන ගෙවීම්වලට අමතරව, ධීවර කාර්මිකයා පූර්ණ අකර්මණ්‍ය වීමකදී, තාවකාලික අකර්මණ්‍ය වීමකදී මෙන්ම මුහුදේදී අතුරුදන් වීමකදීද මෙම රක්ෂණ ක්‍රමය යටතේ විශේෂ වන්දි සහ ප්‍රතිලාභ ගෙවීමට කටයුතු කරන බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.














