දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සහ ඔවුන් සමඟ අලුත් අවුරුදු සතුට බෙදා ගැනීම අරමුණු කරගත් “සෙනෙහසේ නෑගම් යාම” විශේෂ වැඩසටහන හෙට (04 වැනිදා) පෙරවරු 09:00 ට ආරම්භ වීමට නියමිතයි.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වන මෙම වැඩසටහන වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය මෙන්ම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේ සභාපති සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. මෙහිදී ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුම් සඳහා අවශ්‍ය වන වියළි ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ තෑගි බෝග රැගත් රථ පෙළක් දිස්ත්‍රික්කය පුරා විසිරී ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නියමිතයි.
දරුණු ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් තවමත් බදුල්ල දිස්ත්‍රික්කය පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 19 ක පවුල් 558 ක් ජීවත් වන අතර, නිවාස අහිමි වීම නිසා තාවකාලිකව කුලී නිවාසවල ජීවත් වන පිරිස් වෙතද මෙමඟින් ආධාර උපකාර සැපයෙනවා.
විපතට පත් වූ ජනතාවට ඉදිරි උත්සව සමයේදී තමන් තනි වී නැතැයි යන හැඟීම ඇති කරමින් ඔවුන් මානසිකව ශක්තිමත් කිරීමත්, අවුරුදු සතුට ඔවුන් සමඟ බෙදා ගැනීමත් මෙම මානුෂීය වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.














