ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බෘක්ලින් (Brooklyn) ප්‍රදේශයේදී පසුගිය බදාදා (අප්‍රේල් 01) දහවල් කාලයේ සිදුවූ වෙඩි තැබීමකින්, ස්ට්‍රෝලරයක් (Stroller) මත සිටි මාස 7ක බිළිඳෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් (Moped) පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පදික වේදිකාවක සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරය කල්ලි කණ්ඩායම් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක කරයි.
වෙඩි තැබීමෙන් පසු පලා යාමට උත්සාහ කළ සැකකරුවන් ගමන් ගත් යතුරුපැදිය මීටර් කිහිපයක් දුරින්දී මෝටර් රථයක ගැටී අනතුරට ලක්ව ඇති අතර, එහිදී තුවාල ලැබූ එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අනෙක් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි (Zohran Mamdani) මහතා ප්‍රකාශ කළේ, “යන්තම් ජීවිතය ආරම්භ කළ බිළිඳෙකුගේ හුස්ම මෙලෙස නිමේෂයකින් උදුරා ගැනීම දරාගත නොහැකි ශෝකයක්” බවයි.
නිව්යෝර්ක් නුවර අපරාධ අනුපාතය පසුගිය වසරට වඩා 29% කින් පහත වැටී ඇති පසුබිමක මෙවැනි බිහිසුණු ඝාතනයක් වාර්තා වීම නගරයේ ආරක්ෂාව පිළිබඳව නැවතත් දැඩි කතාබහක් මතු කර තිබේ. පොලිස් කොමසාරිස් ජෙසිකා ටිෂ් (Jessica Tisch) මහත්මිය සඳහන් කළේ මවක ලෙස තමන්ට මෙම පවුලේ වේදනාව වචනයෙන් විස්තර කළ නොහැකි බවත්, තුවක්කු ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට තවදුරටත් දැඩි පියවර ගත යුතු බවත්ය.














